ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාව
ආගමික වටාපිටාව යනුවෙන් දැක් වූ විට කෙනෙකුට තමා අදහන ආගමට පමණක් පක්ෂව එක් ආගමක් හුවා දක්නට පිළිවන. එය එසේ නොවේ ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාවේ දකින්නට ලැබෙන්නේ ආගම් තුනකි. බෞද්ධ, කිතුනුු, ඉස්ලාමයයි. හින්දු ආගම ආගමටත් වඩා වාදයකැයි කීම වඩාත් යුක්ති යුක්ත වේ. මේ සෑම ආගමකම පසුබිම නාට්‍ය කලාව වෙත බලපෑ බව සඳහන් කිරීමට සාක්ෂි ඇත. නච්ච, ගීත, වාදිත, විසූක දස්සන යන බොදු යෙදුමෙන් බෞද්ධ ආගම තුළ අර්ථ දැක්වෙන්නේ කලාව සම්පූර්ණ වශයෙන් ප්‍රතික්ෂේප කිරීමක්ද? එසේ නොවේද? අපි මෙය විමසා බලමු. නිර්මල බුදු දහම සැබවින්ම නිර්මලව අදහන්නේ නම් පෘථග්ජනයා සමඟ ලෝකෝත්තර සබඳතා පැවැත්වීමට නොහැක. මේ නිසාම ඈත අතීතයේදී බුද්ධාගම විවිධ විපර්යාසවලට භාජනය වූ බවත් විවිධ ආගම් හා දෘෂ්ටි වාද සමඟ අඩු වැඩි වශයෙන් සම්බන්ධ වූ බවත් සිතිය හැක. විශේෂයෙන් හින්දු ආගමේ මූලික ලක්ෂණ බොහොමයක් ව්‍යවහාරික බුදු දහම තුළ දකින්නට ඇත. ඉහත දැක් වූ ආගම්වලට මත්තෙන් ජෛන ආගම් සහ වෙනත් ප්‍රාග් ආගම්වල ද ඇසුර ලබන්නට ඇත. මේ නිසා බුදු දහම ව්‍යවහාරිකව ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වූ නිසා බුදු දහමේ ධර්ම දේශනාවල එන බොහෝ ධර්ම දේශනා ගනින් වහන්සේවරුන්ගේ ආයතනය මගින් විචිත්‍රවත් කර නාට්‍යානුසාරයෙන් රඟදක්වා ඉදිරිපත් කළ බව අප දන්නා කරුණකි. ආසන දෙකේ බණ, සූවිසි විවරණය, සති පිරිතේ එන දොරකඩ අස්න, මිළින්ද ප්‍රශ්නය, ආලවක දමනය යනාදී ධර්ම දේශනා ක්‍රම නාට්‍යානුසාරයෙන් සිත්ගන්නා සුළු ආකාරයට ඉදිරිපත් කිරීම කෙතරම් සාරවත් ද? බුදු දහම හැරුණු විට කතෝලික ආගමෙන් ද ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාවේ ප්‍රවර්ධනය උදෙසා විශාල සේවයක් සිදු විය. ඔවුනට බුදු දහම මෙරට ව්‍යාප්ත කිරීමේදී මුහුණ දුන් ගැටලුවලට වඩා වෙනස් ආකාරයේ ගැටලු මතු විය. ඉන් පළමුවැන්න වන්නේ බයිබලය මුලින්ම රචනා කළ භාෂාව පිළිබඳවයි. හීබෲ බස මුල් කර ගත් ලතින් භාෂාවට වැඩි තැනක් ලැබුණු මුල් බයිබලය වෙනත් කිසිදු පර භාෂාවකට පරිවර්තනය කිරීම මුල් කාලයේදී තහනම් විය. ශ්‍රී ලංකාවට මුහුදුබඩින් ආගමනය වූ මෙම ආගමත් සමඟම එය ප්‍රචාරණයෙහි යෙදෙන පූජකතුමන්ලා භාවිත කළ භාෂාව සිංහල භාෂාව ව්‍යවහාර කරන ලාංකිකයන්ට ගැටලුවක් විය. මේ නිසා පෘතුගීසි, ඉංග්‍රීසි, ලන්දේසි යන ජාතිකයින් ශ්‍රී ලංකාවේ පාඨශාලා ආරම්භ කළේය. මේවායේ මුලින් ඉගැන්වූයේ ලතින් භාෂාවයි. ඒ කුමක් නිසාවත් නොව ශුද්ධ වූ බයිබලය හොඳීන් අවබෝධ කර ගැනීමේ ප්‍රවනතාව ඇති වීම පිණිසයි. ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවලින් ආරම්භ වූ මෙම ව්‍යාපාරය ටික කලක් යන විට රට අභ්‍යන්තරයට කාන්දු වන්නට විය. අදත් ඔබට දකින්ට ලැබෙන පැරණි මිෂනාරි පාසල්වල මුලින්ම දකින්නට ලැබෙන ගොඩනැගිල්ලේ හෝ පල්ලියේ ඉංග්‍රීසි භාෂාව මෙන් සමාන ලක්ෂණ දරන නමුත් කිසිදු විට අරුත් නොදැනුන භාෂාවක් දකින්නට ලැබේ. ඒ භාෂාව ලතින් බස වෙයි. මිෂනාරීන්ගේ ආගමනය ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයට ද ව්‍යාප්ත වීම අහඹුවක් නොවේ. මේ නිසා හින්දු ආගම ප්‍රචලිතව පැවති යාපනයේ සිට පහළට දෙමළ කතෝලිකයන් ද ව්‍යාප්ත වීම ආරම්භ විය. මේ වන විට සිංහල බෞද්ධ සහ සිංහල කතෝලික ද දෙමළ හින්දු සහ දෙමළ කතෝලික යන කොටස් ද අපට දකින්නට ලැබේ. මුල් කාලීන කතෝලික කිතුනු බැතුමතුනට ඉංග්‍රීසි භාෂාව මනා උච්චාරණයකට අවකාශ ඇත. එයට හේතුව ඉංග්‍රීසි මාධ්‍ය උගැන්වීමේදී භාවිත කිරීමයි. සිංහල කතෝලික සහ දෙමළ කතෝලික බැතිමතුන් බිහි වූයේ කෙලෙසද යන්න වෙනමම සමාජ විද්‍යාත්මක කරුණකි. නමුත් කිතුනු ආගම ප්‍රචාරය කරන පුද්ගලයින්ට වුවමනාව තිබුණේ හැකි තරම් වැඩි ප්‍රමාණයක් කිතුනුු ආගම වැළඳ ගන්නා අයුරින් ව්‍යාප්ත කිරීමයි. මෙය ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. මධ්‍යකාලීන යුරෝපීය යුගයේදී අතීතයේ ඔවුන් ලැබූ ඇත්දැකීම් ඉතා හොඳීන් මෙහි භාවිත කළේය. බයිබලයේ සඳහන් කොටස් නාට්‍යානුසාරයෙන් රඟ දැක්වීම සඳහා බැතිමත්හු ද, පූජකවරු ද එකතු වූහ. මහාචාර්ය සරච්චන්ද්‍ර ඇදුරුතුමා මන්නාරම පේසාලේ රඟ දැක්වුණු පාස්කු ගැන විස්තරයක් සිංහල ගැමි නාටකයේ ගෙන එයි. එසේම බොරලැස්ස, මීගමුව, හලාවත යනාදී ප්‍රදේශවලදී රඟ දැක්වුණු පාස්කුවල විස්තරයක් ගෙන එයි. මේ පාස්කු නාඩගමෙහි දකින්නට ලැබෙන්නේ යේසුස් වහන්සේගේ උපතේ සිට මරණය දක්වා ප්‍රාතිහාර්යජනක සිදුවීම්ය. එමෙන්ම එය විශේෂ උප සංස්කෘතියකි. ඉහත දැක් වූ පරිදි බුදු දහම සහ කිතුනු ආගම සම්බන්ධව ගොඩ නැගුණු මෙම ආගමික නාට්‍යවලින් ඒ ඒ ආගමේ ශාස්තෘවරයාගේ වැදගත්කම, වීරත්වය, ප්‍රාතිහාර්ය ශාස්තෘවරයා ඇදහීමට හේතු වන්නේ කුමක් නිසාද යන්න ඉතා ප්‍රබලව සාකච්ඡා වෙයි. එක අතකින් ප්‍රචාරණ කලාවේ ඉතාම වැදගත් රීතීන් ගණනාවකත් මෙය අධ්‍යයනය කර අපට දැනගන්නට ලැබෙයි. වර්ණනා සහිතව අතිශයෝක්තියෙන් පුද්ගලයින් පිළිබඳ හුවා දැක්වීම මෙම නාට්‍ය කලාවේ පොදු ස්වභාවයි. එමෙන්ම එම සෑම කතාවකම අවසානවෙය් කතා නායකයා අපූරූ ජයග්‍රහණ කරයි. මෙයින් ආගම් ලබ්ධිකයාගේ උනන්දුව සහ වුවමනාව, ධෛර්ය බල ගැන්වෙයි. මේ ආගම් දෙකටම වඩා ලිඛිත සාහිත්‍යයෙහි වැඩිපුර දෙවිවරුන් පිළිබඳව අතිශයෝක්තියෙන් යුතුව කරුණු දැනගන්න ඇත්තේ හින්දු ආගම පිළිබඳව කරුණු සොයන විටයි. හින්දු ආගමට අයත් දෙවිවරුන්ගේ ක්‍රිය කලාපයන් පිළිබඳව කිියවෙන සෝමදේවයන්ගේ කතා සරිත් සාගරය සැවොම කියවීම වටී. එයට හේතුව භාරතීය භාෂා පඬිවරුන් දෙදෙනෙකු වන පාණිණී හා පතඤ්ජලී තම ව්‍යාකරණ කෘතීවල ව්‍යාකරණ නාට්‍යමය ස්වරූපයෙන් හඳුන්වා දෙන්නාක් මෙන් සෝමදේවයන් කතා සරිත් සාගරයෙන් ද, වාල්මිකී දක්වන්නට හැකි සෑම අවස්ථාවකම රාමායනය ප්‍රබල නාට්‍යයක් සේ රචනා කර ඇත. නාට්‍ය හා රංග කලාව හදාරන සියලු දෙනාම පාහේ කතා සරිත් සාගරයත්, රාමායනයත් කියවීම වැදගත්ය. සරස්වතී දේවිය, ලක්ෂ්මී දේවිය, දුර්ගා, විෂ්ණු, කතාරගම යනාදී දේව උප්පත්තියන් පිළිබඳ ඉතා හරබර අලංකාර කතාන්දර තිබේ. කුමන ආගමේ වුවද සිදු වී ඇත්තේ මේ කතාන්තර හැකි තරම් ප්‍රිය උපදවන ආකරයට ප්‍රේක්ෂකයා ඉදිරියේ පෙන්වීමයි. ප්‍රේක්ෂකයා එය විශ්වාස කළ යුතුය. එසේ නම් පැරණි රැවුල්, කොණ්ඩා, ඇඳුම් පැළඳුම්, පැරණි පසුතල ආදිය ඒ ආකාරයෙන්ම සකස් කර ඉදිරිපත් කළ යුතු වේ. මේ නිසා ඉබේම වාගේ ඒ ඒ ශිල්ප වෙන වෙනම ප්‍රගුණ කරන පුද්ගලයන් බිහි විය. ශ්‍රීී ලංකාවේද එසේ නොවූයේ යැයි කීමට හේතු නැත. මේ සියලුම ශිල්පීන් ඔවුන්ගේ පැවැත්ම සහ කලාව අතර පැවතුණු තරගයකින් ජයගෙන අවසානයේ වෘත්තීය මට්ටමෙන් කලාව කරගෙන යන්නට වූහ. ඉදින් ඔවුනට සිදු වූයේ දෙවියන් සඳහා වෙන් වුණු උත්සවවලදී පමණක් රඟ දැක්වීමට නොව වසරේ අනෙකුත් දින වකවානුවලදීද රඟ දක්වා පෙන්වීමයි. මේ නිසා සෑම දිනම දකින්නට ඇති පැරණි දේව කතා, රජ කතා ආදිය වෙනුවෙන් විවිධ කතාන්දර ආදේශ කිරීම ආරම්භ විය. මේ නිසා ලාංකීය නාට්‍යයේ නව මං සලකුණු ආරම්භ විය. මෙම සටහනින් අපට වැදගත් නිගමනයකට බැසිය හැක. එනම්, ආගම ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාව වර්ධනයවීමට ඉවහල් වූ බවයි. |
Wednesday, January 22, 2014
Subscribe to:
Post Comments (Atom)
sarthaka lipiyaka
ReplyDelete